හිරු පුරුද්දට මෙන් ගෙවුණු සෑම සන්ධ්‍යාවකම වැව් තෙර අගින් සැඟව ගියේ මනරම් සිත්තමක් මවමිනි. සිත්තරෙකුට ලැජ්ජා හිතෙන තරමට වර්ණ ගැන්වෙන දිය තැටිය අදට වඩා හෙට අපූරු චමත්කාරයක් මවයි.
හාත්පස පැතිර පවතින මහ වනය ගුප්තය. ලොකු කුඩා අඳුරු කොරිඩෝ තුළින් වැව් පිටියට පිවිසෙන සා මුව ගෝණ ආදී නොයෙකුත් අමුත්තන් මොහොතක් දියට මුව යොමා කිසියම් වූ රහසක් කොදුරා වනය තුළට පිවිසෙන්නේ හදිසියේ අතපසු යමක් මතක් වූ කෙරිණි.
හිරු සැඟව යන අවසන් හෝරාවෙ සිහින් රළ බිඳිති නගමින් රගණ වැව් කොමළිය හා හිරුත් අතර කිසියම් පෙම් පළහිලව්වක පැටලී ඇති බවට නම් සැකයක් නැත.
වර්ණ පින්සල් හා කැන්වස් අතරම දෛනිකව ගෙවුණු මගේ ජීවිතය මුළුමනින්ම වෙනස් වී අදට හරියටම දින 31 කි. කලබලේ නොවුනත් තාවකාලිකව මෙහි ආ ගමනට පිටත් වූ මොහොතේ සියල්ලම නැතත් බොහෝ දේ මගහැරී ඇත.
එකදු පින්සලක් වර්ණ හා කැන්වසයක් රැගෙනවිත් තිබුනේනම් ඒ මතම නැවත නැවතත් අදිමින් හෝ සුපුරුදු චර්යාවේ කල් මරන්නට ඉඩ තිබිණි.
සාංකාවට මෙන් හේනේ තැන තැන විසිර ඇති විවිධ වර්ණවලින් යුත් පාසාන වර්ග පොල්කටු වලට එකතු කරන්න ට මම දැන් දැන් පුරුදුව සිටින්නෙමි. එකතුවේ වර්ණ ගණන දහයකටත් වඩා වීම සතුටකි. එමෙන්ම වියතක හමාරක දිගට කපාගත් සිහින් කලවැල් කොටස අගහින් තලා ගත් විටකදිම පින්සලකි. එවැනි පින්සල් ද කිහිපයක් මා සතුවෙයි.
දැනට ගැටළුව වී ඇත්තේ පසුතලයක් සඳහා සුදුසු කඩදාසියක් හෝ රෙදිකැබැල්ලක් සොයා ගැනීමයි.
ඉදිරි දින කීපය තුළ එවැන්නක් සොයාගැනීමට අපොහොසත් වුවහොත් නිශ්චිතවම ප්රාග් ඓතිහාසික යුගයේ චිත්‍ර ශිල්පියකු මෙන් කිසියම් ගල් මතුපිටක සිතුවිලි රටා මවන්නට මා පෙලඹෙන බවට නම් කිසිදු සැකයක් නැත.
වැව්දිය කලතා පවතින නිහඬබව විඳිනවාට වඩා මා ප්‍රිය කළේ කරවටක් දියේ ගිලී නිසොල්මන්ව සුවිසල් හිස් අවකාශයෙ පහසු විදීමයි.
රැ බෝ වීමට මත්තෙන් වැව පිටියට සමුදිය යුතුව ඇත.
අසල මයිල ගස වසරේ කුළුඳුල් මලින් බරවා ඇත. ඒ දුටු මොහොතේ ම සිහියට නැගුණේ ටී බී ඒකනායක මැතිදුන් සමග ගෙවුණු මනරම් සන්ධ්‍යාවක අපගේ ප්‍රධාන මාතෘකාව වු මයිල මල් වෑංජනය හා එහි ගුණ අගුණ පිළිබඳවයි
ඕනෑම මුත්‍රා දැවිල්ලකදී මයිල දල්ලක් දෙකක් හැපූ විට ලබන සහනය පිළිබඳව නම් බොහෝ ගැමියන් සාක්ෂි දරයි. රුපියලේ සොපිං කවරයක් තරම් මයිල මල් නෙළා ගත්තේ රාත්‍රී ආහාර වේල පිළිබඳව රසවත් හැඟුමිනි. තම්බා දියහැරගත් මයිල මල් හා සිහින්ව ලියාගත් රතු ළුුණුත් කෑලි මිරිස් එක්කොට තෙලෙන් තෙම්පරාදු කරගත්විට බත් පිඟානක් ගිල දැමීම කජ්ජකි.
ලොව පුරා හඳුනාගත් ආහාරයට ගත හැකි භෝග වර්ග 80, 000අතරින් 3368 කින්ම මගෙ රට පෝෂණීයයි. එයින්ද වර්ග අටසීයක් පමණ අපේ රටටම ආවේනික ඒවාය. මෙතරම් ඉහළ ජෛව විවිධත්වයකින් සමන්විත මගෙ රටෙ මිනිසුන් කැරට් බෝංචි ලීක්ස් වට්ටක්කා වැනි අතලොස්සක් වූ බෝග වර්ග සීමා වීමට තරම් අවාසනාවන්ත ජාතියක් බවට පත් වූයේ ඇයි.
මැණික් ගලේ පය හැපුනට ඇහිඳ කරේ ලා නොගන්නා අන්ධයින් මෙන් අනේකවත් පොල්පලා ඉරමුසු ආදී පළා වර්ග කොතෙක් නම් මගහැර යමින් සිටිත්ද? ..
කුරල ,කටු අල , හොඬල ,රාජාල ආදි දුසිම් ගණනින් වූ අල වර්ග අතරින් කීයක් දැන හඳුනාගන්නට තරම් අප පොහොසත්ද?
3368 වූ අනේකවිධ බෝග වර්ග සරුවට වැවුණු මගේ මුළු රටම ගෙවත්තකි. අපගේ ජීවිත අවට පරිසරය ගහකොළ හා සතා සීපාවා හා සමඟ බද්ධව ඇත්නම් අමුතුවෙන් ගෙවතු වගාවක් අවශ්‍ය නොවේ.
විලාසිතාවට කුකරි පන්ති යන ගෘහණියන්ට සීමිත බෝග වර්ග කීපයක් පමණක් මෙලෙස කිරට මිරිසට තෙලට රස ගන්වා උදම් අනන්නට හැකියාව ඇත්තේ ද අජින මොටෝ හා සුප් කැට ආදාරයෙනි.
corona නම් පැමිණි විලසටම නොබෝ දිනකි යන්නට යාවී. නමුත් sugar diabetic කොලෙස්ටරෝල් ආදී නොයෙක් මාරාන්තික රෝග වලට පාවඩ එලා ඇරයුම් කොට ඇති අපගේ ආහාර සංස්කෘතිය යළි කවදා නිවැරදි කරගන්නට හැකිවේද..?
වගකිවයුත්තන්ගේ ඇස් ඇරේවා
එතෙක්
ඖෂධ සමාගම් වලට ජය වේවා..!!